පළාත් පාලන ආයතන සඳහා පැන විසදුම්

01. පළාත් පාලන ආයතන සඳහා අනුමත කාර්ය මණ්ඩලයට අළුතින් තනතුරක් ඇතුළත් කිරීමට පළාත් පාලන සහකාර කොමසාරිස්ට ඉදිරිපත් කල යුතු ලියවිලි මොනවාද?

අදාළ කාර්ය මණ්ඩල අවශ්‍යතා නිර්ණය කිරීමේ නිර්දේශවලට අනූකූලව,

  • විධිමත්ව සම්පූර්ණ කරන ලද (පළාත් මුල්‍ය රීති ආදර්ශ ආකෘති පතේ පිටපත් 06ක්)
  • සාධාරණීයකරන වාර්තාවේ පිටපත් 06ක්
  • ඇමුණුම් – 01 ආකෘති පත්‍රයේ පිටපත් 06
  • සභා තිරණයේ පිටපත් 06 (සභා සම්මුතීන්)

02. පළාත් පාලන ආයතන අරමුදලින් වියදම් කිරීමේදී විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත ඉදිරිපත් කල යුතු ලියවිලි මොනවාද?

  • මහ නගර සභා ආඥාපනතේ 188 ( ඕ ) වගන්තිය නගර සභා අඥා පනතේ 159 (ඊ) , (උ), (එ), වගන්තිය හා ප්‍රාදේශීය සභා පනතේ 132(ඊ), (ඒ), (ඔ), (ක) වගන්තිය යටතේ සභා අරමුදලින් වියදම් දැරීම සඳහා අමාත්‍යවරයාගේ පුර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු උපවගන්තිය නිශ්චිතව සඳහන් කරමින් අනුමැතිය ඉල්ලීමට අදාල ආකෘති පත්‍රය
  • පහත විෂයෙහි කාර්ය සාධනය පිළිබඳ වාර්තාවේ පිටපත් 03
  1. පවත්නා වර්ෂයෙහි අපේක්ෂිත ආදායම් හා එම නිර්නායක යටතේ එකතු කළ ආදායම් විස්තර
  2. පෙර වර්ෂ වලින් පැවතෙන හිඟ ආදායම් හා ඉන් එකතු කළ ආදායම්
  • ඉහත i හා ii අනුව යෝජිත වැඩ සටහන සඳහා ප්‍රතිපාදන දැමිමට ඇති මූල්‍ය ශක්තිය ගැන සෑහිමකට පත්වන්නේද යන වග
  • අදාල සභා සම්මුතියෙන් ලබා ගත් උද්දෘතයෙහි විධිමත් ලෙස සහතික කරන ලද පිටපත් 03ක්.

03. පළාත් පාලන ආයතන විසින් මාර්ගයක් නම් කිරීමේදි 1975 අංක 4 දරණ විථි නම් කිරීමේ සහ ස්මාරක පිහිටුවීම පාලනය කිරීමේ පනත සහ ප්‍රාදේශීය සභා පනතේ 198 වැනි වගන්තිය හෝ නගර සභා ආඥා පනතේ 55(අ) වගන්තිය අනුව විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කිරීම සඳහාපළාත් පාලන සහකාර කොමසාරීස් වෙත ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද?

  • විථි නම් කිරීම සඳහා අයදුම්පතේ පිටපත් 03
  • සහතික කරන ලද විරෝධතා කැඳවීමේ දැක්වීමේ පිටපත් 03
  • අදාල සභා තිරණය ඇතුළත් සභා වාර්තාවේ උදෘතයෙහි සහතික කරන ලද පිටපත් 03

04. ප්‍රාදේශීය සභා විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග ගැසට් පත්‍රයේ පලකිරීමට පෙර ප්‍රාදේශීය සභා පනතේ 24(1) වගන්තියට අනුව පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා පළාත් පාලන සහකාර කොමසාරීස් වෙත ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද?

  • එම පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණ ගන්නා ලද සභා වාර්තාවේ සහතික කළ පිටපත් 03
  • මාර්ග ලැයිස්තුවේ සහතික කළපිටපත් 03
  • විරෝධතා කැදවු දැන්වීම් ප්‍රසිද්ධ කළ බවට විරෝධතා කැඳවු දැන්වීමේ සහතික කරන ලද පිටපත් 03
  • ලිඛිත විරෝධතා ඇත්නම් පවත් වන ලද විරෝධතා පරීක්ෂණයේ වාර්තාව – පිටපත් 03

05. දෙපාර්තමේන්තු චක්‍රලේඛ LGD/01/2017 අනුව නිකුත් කර ඇති පළාත් පාලන ආයතන සඳහා අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශයේ සඳහන් විගණන කමිටුවකනිත්‍ය/අනිවාර්ය සංයුතිය සකස් විය යුත්තේ කෙසේද?

විගණන කමිටුවේ තනතුර ධුරය/නිත්‍ය තනතුර
මහා නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා
සභාපති නාගරික කොමසාරිස් සභාපති
සාමාජික ප්‍රධාන ගණකාධිකාරි ලේකම්
සාමාජික අංශභාර ගණකාධිපරි/ගිණුම් අංශ ප්‍රධානි ගිණුම් අංශ ප්‍රධානි
සම්බන්ධීකාරක අභ්‍යන්තර විගණන නිලධාරි අභ්‍යන්තර විගණන නිලධාරි
නිරීක්ෂක විගණකාධිපතිගේ නිරීක්ෂක හා විමර්ශන නිලධාරි විගණකාධිපතිගේ නිරීක්ෂක හා විමර්ශන නිලධාරි

06. පළාත් පාලන ආයතන සඳහා අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශයට අනුව වාර්තා ඉදිරිපත් කළ යුත්තේ කෙසේද?

  • උපලේඛන අංක 02 හි දක්වා ඇති පරීක්ෂා කිරීම් වලට අදාලව අභ්‍යන්තර විගණන නිලධාරී විසින් සකස් කර ලබා දෙන රහස්‍ය වාර්තා හැර අනෙකුත් වාර්තා මාසික සභා රැස්වීම පැවැත්වීමට දින 07 කට පෙර කොමසාරිස්/ලේකම් වෙත වාර්තා ඉදිරිපත් කිරීම.
  • ඒකි වාර්තාවේ පිටපත් දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් හා විගණන අධිකාරිට යොමු කිරීම.
  • අභ්‍යන්තර විගණනය සිදු කිරීමේදි ආයතන සංග්‍රහයේ XLVII පරිච්ජේදයේ පළමු හා දෙවන උපලේඛනයේ සඳහන් විෂමාචාරයන් නිලධාරින් සිදුකර ඇති බවට අභ්‍යන්තර විගණන නිලධාරින් විසින් ලබා දෙන රහස්‍ය වාර්තා විනය බලධාරියා වෙත යොමු කිරීම.

07. පළාත් පාලන ආයතන පොදු කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කරගැනීමට පළාත් පාලන කොමසාරිස්ට ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද?

  1. පළාත් පාලන කොමසාරිස් 2 ආකෘතිය – ඉඩම් අයදුම් පත්‍රය පිටපත් 8
  2. සභා සම්මත යෝජනාවේ සහතික කළ පිටපත් 8
  3. අත්පත් කර ගැනීමට යෝජිත ඉඩම දැක්වෙන බලය ලත් මිනින්දෝරුවකු විසින් පිළියෙල කරනු ලැබු සහතික කරන ලද පිඹුරු පිටපත -ඉඩමේ අයිතිකරුවන්ගේ සංඛ්‍යාව අනුව එක් අයිතිකරුවෙකු වෙනුවෙන් එක පිටපතක් බැගින් හා ඊට අමතරව පිටපත් 05ක්
  4. ඉඩම අයිතිකරුවන්ගේ නම ලිපිනයන් හා මායිම් පිළිබඳ විස්තර අඩංගු ප්‍රාදේශීය වාර්තා පිටපත් 08ක්
  5. අත්පත්කරගැනීමට යෝජිත ඉඩමට අදාලව ප්‍රධාන තක්සේරු කරුගේ ලබා ගත් මුලික තක්සේරු වාර්තාව -පිටපත්08
  6. ඉඩමේ මුලික තක්සේරු වටිනාකම අනුව ප්‍රාදේශීය ලේකම් වෙත මුදල් තැන්පත් කරන ලද ලදුපතේ සහතික කළ පිටපත් 08
  7. ඉඩම් අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය වන මිනුම් හා දැන්වීම් ගාස්තු සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත මුදල් තැන්පත් කරන ලදුපතේ සහතික කළ පිටපත් 08
  8. ඉ.අ.03 දරණ ඉල්ලුම් පත්‍රය හා විස්තර ප්‍රකාශයේ පිටපත් 08
  9. (ඉඩම් අත්පත්කර ගැනීම 38(අ) අතුරු විධානය යටතේ සිදුකළ යුතු නම් උපලේඛන අංක 02 පිටපත් 08,අත්පත් කර ගැනීමට යෝජිත ඉඩමේ බුක්තිය ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38(අ) අතුරු විධානයක් යටතේ ලබා ගැනීමට ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා එකී අත්පත් කිරීම ඉඩම් අත්පත් කරගැනීමේ පනතින් 38(අ) අතුරු විධානය යටතේ සිදු කල යුතු බවට වෙනම සභා යෝජනාවක් සම්මත කළ යුතුය.)
  10. අත්පත් කර ගැනීමට යෝජිත ඉඩම සුසාන භූමියක් සඳහා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාවද ගොඩනැගිල්ලක්,පාරක් හෝ වෙනත් පොදු කටයුත්තක් සඳහා නම් මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශය පිළිබඳ සහතික කරන ලද පිටපත් 08

08. පළාත් පාලන ආයතන වාහන මිලට ගැනීම සඳහා රාජ්‍ය වියදම් පාලන කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා පළාත් පාලන කොමසාරිස්ට ඉදිරිපත් කල යුතු ලියවිලි මොනවාද?

  1. ඉල්ලීම් ලිපියේ සහතික කරන ලද පිටපත් 06
  2. අවශ්‍යතාවය දැක්වෙන ලිපියේ සහතික කරන ලද පිටපත් 06
  3. රාජ්‍යවියදම් පාලන කමිටුවේ ඉල්ලුම් පත්‍රයේ සහතික කරන ලද පිටපත් 06
  4. එන්.බී.එෆ්.පෝරමය – සහතික කරන ලද පිටපත් 06
  5. අදාල සභා සම්මුතියේ උදෘතයෙහි සහතික කරන ලද පිටපත් 06
  6. ගිණුම් වාර්තාවේ සහතික කළ පිටපත් 06
  7. සභාවේ වර්තමාන මුදල් තත්ත්වය දැක්වෙන වාර්තාවේ සහතික කරන ලද පිටපත් 06
  8. මිල ගණන් කැඳවීමේ ලිපියේ සහතික කරන ලද පිටපත් 06
  9. සභාවේ පවතින වාහන පිළිබඳ විස්තරයේ සහතික කරන ලද පිටපත් 06

09. චක්‍රලේඛ අංක LGD/08/2016 අනුව පළාත් පාලන ආයතන දේපළ සම්බන්ධයෙන් බදු හෝ කුළී ගිවිසුම් සඳහා ගිවිසුම්ගත වීමේදි සළකා බැලිය යුතු කරුණු මොනවාද?

  1. ගිවිස ගැනීමට විෂය ගතවන දේපළ පිළිබඳ පළාත් පාලන ආයතනයට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ආකාරයට අයිතිය තහවුරු කරන ලේඛන සකස් වී තිබීම.
  2. පළාත් පාලන ආයතනයන්ට අයිති දේපළ භෞතිකව හඳුනා ගැනීම මිනින්දෝරුවකු මඟින් මිනුම් කිරිම,මායිම් පිහිටුවීම සහ ඊට අදාළ සැළසුම් පිළියෙල කිරීම.
  3. ගිවිසුම් ගත වීමට පූර්වයෙන් සැලකිය යුතු අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
    • ගිවිසුම් ගත වීම සඳහා ප්‍රසම්පාදනය මඟින් වඩා වාසිදායක පාර්ශවයන් තෝරා ගැනීම.
    • සියලු ගිවිසුම් කෙටුම්පත් කර සභාව මඟින් අනුමත කර ගැනීම.
    • ගිවිසුමෙහි සුරක්ෂණය සඳහා සුදුසු ඇපයක් ලබා ගැනීමට ක්‍රියා කිරීම.
  4. ගිවිසුම් ගතවීම සහ ගිවිසුම් කාලය තිරණය කිරීම.
  5. ගිවිසුම් අවසන් කිරීම හෝ ගිවිසුමෙහි කාලය දිර්ඝ කිරීම.

සැ.යු-දීර්ඝකාලින බදු දිම් සඳහා විෂය භාර අමාත්‍යතුමාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය 09

10. පළාත් පාලන ආයතව වලට රජයේ ඉඩම් පවරා දීම යනු කුමක්ද?

යම්කිසි පළාත් පාලන ආයතනයක් විසින් නඩත්තු කළ යුතු ඒ ඒ පළාත් පාලන ආයතන විසින් පවත්වා ගෙන යායුතු සේවාවන් සඳහා අවශ්‍ය වත්කම් හා ඉඩම් පවරා දීම මෙයින් අදහස් වේ.

11. ප්‍රාදේශීය ලේකම් විසින් පළාත් පාලන ආයතන වලට පවරා දෙනු ලබන ඉඩම් පිළිබඳ ලේඛනයක ඇතුළත් විය යුතු තොරතුරු මොනවාද?

  1. පළාත් පාලන ආයතනයේ නම
  2. ඉඩම් සිතියමේ විස්තර
  3. ප්‍රමාණය
  4. ඉඩම පවරා දුන් කාර්යය
  5. පැවරුම් නියෝගයේ අංකය හා දිනය

12. පළාත් පාලන ආයතනයකට රජයේ ඉඩමක් පවරා දීමේ වැඩ පියවර කුමක්ද?

  1. භුක්ති විදින ඉඩම් ලැයිස්තුවක් පිළියෙල කර එම ඉඩම සභාවට පැවරුම් නියෝග මඟින් ලබාගත යුතු බවට සභා යෝජනාවක් සම්මත කර ගැනීම
  2. එම ලැයිස්තුව හා යෝජනාව සමග ඉඩම පවරා දෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලුම් කිරීම.
  3. ඉඩම සඳහා නිර්වද්‍ය අවශ්‍යතාවයක ඇති බවට නුදුරු අනාගතයේ ඉඩම අදාල කාර්යයට යොදා ගැනීමේ හැකියාව ඇති බවට සෑහිමකට පත්වී නිර්දේශ කිරීම හා නිර්දේශ කළහොත් කවර හේතු මතද යන්න සඳහන් විය යුතුය.
  4. ඉඩම පිහිටා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශය තුළ නම් එම ආයතනයේ එකඟත්වය ලබාගැනීම එසේත් නැත්නම් නගර සභා ග්‍රාම නිර්මාණ අධ්‍යක්ෂකගේ එකඟතාවය ලබා ගැනීම.
  5. ඉඩම පවරා දීමට අනුමැතිය සඳහා ඉඩමේ අනුරේඛනයන් හා ඉ.කා.ස.13 වෙනි පරිශ්ඨය ප්‍රකාර වාර්තාව පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම.
  6. සිය නිර්දේශය සමග අදාළ ලියවිලි පරීක්ෂා කර බලා ඉදිරි පියවර ගැනීමට ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම.
  7. ඉඩම් අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුන විට ඒ බව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැන්වීම.
  8. ඉඩම මැන මායිම් ගල් යොදා හැකිනම් ඒ සඳහා මැණුම් නියෝගයක් යැවීම.
  9. අනුමැතිය ලද වහාම පළාත් පාලන ආයතනයට ඉඩමේ භුක්තිය භාරදීම.
  10. පැවරුම් නියෝග රේඛා චිත්‍රයක් නිකුත් කිරීම සඳහා ආ ඒ 118 ආකෘතිය මඟින් ඉල්ලුම් කිරීම.
  11. පැවරුම් නියෝග රේඛා චිත්‍රය ලැබුණු විට පැවරුම් නියෝගය පිළියෙල කර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යැවීම.
  12. පැවරුම් නියෝග පිටපත් දෙකේම අත්සන් තැබීම හා සහතික කරන ලද ඡායා පිටපතක් පළාත් ඉඩම් කොමසාරිස් වෙත එවීම.
  13. රේඛා චිත්‍ර සහිත පැවරුම් නියෝගය වහාම ගොනු කොට සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීමේ වගකීම.
  14. පළාත් පාලන ආයතන වෙත ඉඩම පවරා දීමේ ලේඛනයක් පවත්වාගෙන යාම හා එහි සටහන් යෙදීම .පැවරුම් නියෝග පිටපත් අදාළ පළාත් පාලන ආයතන නමින් ඇති ගොණුවක ගොනුකර සුරක්ෂිතව තබා ගැනීම.

13. පළාත් පාලන ආයතනවලට ඉඩම් පවරාදීම සඳහා පළාත් පාලන සහකාර කොමසාරිස්ට නිර්දේශ ඉදිරිපත් කරන විට ඉදිරිපත් කල යුතු ලියවිලි මොනවාද?

  1. අදාල පළාත් පාලන ආයතනයේ ඉල්ලුම් පත්‍රය
  2. රජයේ මිනින්දෝරු හෝ කච්චේරි මිනින්දෝරු විසින් සකස් කරන ලද අනුරේඛනයන්
  3. අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශය තුල පිහිටා ඇත්නම් අධිකාරියේ එකඟතාවය
  4. නොඑසේනම් නගර හා ග්‍රාම නිර්මාණ අධිකාරියේ එකඟතාවය
  5. ඉඩම පවරා දෙනු ලබන්නේ සුසාන භූමියක් සඳහා නම් ඒ සම්බන්ධව ප්‍රදේශය සෞඛ්‍යවෛද්‍යනිලධාරිගේ නිර්දේශය(යෝග්‍යතාවය පිළිබඳ වාර්තාව)
  6. පවරා දිමට යෝජිත ඉඩම වෙනත් රජයේ ආයතනයකට අයත් නම් එම ඉඩම නිදහස් කර ගැනීම සඳහා එම ආයතනයේ එකඟතාවය ලබා ගත් පියවර
  7. ඉඩම කාර්ය සංග්‍රහයේ පිටු 266 හි 13 වන පරිශ්ඨයේ වාර්තාව
  8. (එවනු ලබන නිර්දේශ චක්‍ර ලේඛ අංක 98/8 හා 1999.02.09 අනුව පළාත් ඉඩම් කොමසාරිස් හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඉඩම් කොමසාරිස් වෙත යොමු කළ යුතුය.)