පළාත් පාලන සහකාර කොමසාරිස්තුමියගේ පණිවිඩය

මානවයාගේ උපතේ සිට මරණය දක්වා බැඳී පවතින සකල විධ වු කාර්යයන් ඉටු කරනු වස්; ඒ සඳහා වගකිව යුතු ප්‍රධානතම ප්‍රාදේශීය බලාධිකාරය වනුයේ පළාත් පාලන ආයතනයයි.

ස්වාධීන ප්‍රාදේශීය ආණ්ඩු වශයෙන් මෙම ආයතනය සංස්ථාපනය වන්නේ, ජනතාවගේ පොදු උපයෝගිතා සේවාවන් සවිමත් කරමින් ඔවුනගේ සුඛවිහරණය, සුභසාධනය හා සියළු පහසුකම් ප්‍රවර්ධනය කරමින් හා ඊට අදාල සියළු කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම සඳහා වේ.

ඒ අනුව යමින් ගම්පහ දිස්ත්‍රික්කය තුල පළාත් පාලන ආයතන 19ක් ඇති අතර; මහා නගර සභා 02ක්, නගර සභා 05ක් හා ප්‍රාදේශීය සභා 12ක් ලෙස ඒවා වර්ගීකරණය වෙයි. මෙකී ආයතන අධීක්ෂණය කරමින්, මගපෙන්වමින් හා උපදෙස් ලබාදෙමින් සම්බන්ධීකරණ ආයතනය ලෙස ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය ඉටුකරන සේවාව අසීමිතය.

ජනතාවගේ කාර්ය බහුලත්වය සමග මෙකී සේවාවන් සැපයීමේ කාර්යක්ෂමතාව ප්‍රමාණවත්ව ඉහළ යා යුතු වන අතර, එහි ගුණාත්මකබව හා විශ්වාසවන්ත බව ආරක්ෂා විය යුතුය. එමෙන්ම තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමට සේවාදායකයාට අයිතියක් තිබිය යුතු වන අතර, එය සැපයීම ආයතනය සතු ප්‍රධාන වගකීමයි.

මෙම කරුණු සියල්ල සලකා බලා සාම්ප්‍රදායික රාජ්‍ය සේවය ඉක්මවා යමින් නවීන තාක්ෂණය හා බද්ධ වූ පුළුල් හා ගුණාත්මක සේවාවක් සේවාදායකයා වෙත ලබාදීමටත්, පැහැදිලි නිරවුල් හා ක්ෂණික තොරතුරු සේවාවක් පවත්වා ගැනීම සඳහාත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකි වීම වර්තමාන ආයතන ප්‍රධානියා ලෙස මා තුල ඇත්තේ නිහතමානි සතුටකි.

එකී අභිප්‍රායන් සාක්ෂාත් කරගනු වස්, නිරන්තරයෙන් උපදෙස් දෙමින් මා උනන්දු කල හිටපු බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මැතිනියට හා නිබඳව සේවයට ඇප කැප වෙමින් අනලස්ව මා හට සහයෝගය ලබා දෙන මාගේ කාර්ය මණ්ඩලයටත් හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.

N.B.R.V ප්‍රනාන්දු මිය,
පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය,
ගම්පහ.