මහජනතාව සඳහා පැන විසදුම්

01. කිසියම් ඉදිකිරිමක් සිදු කිරීමට පෙර පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගත යුතුද?

  1. ඔව්.
  2. ගම්පහ දිස්ත්‍රික්කය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රජා තාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 1983/31 දරණ හා 2016.09.09 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.එබැවින් ගම්පහ දිස්ත්‍රික්කය තුල සිදු කරනු ලබන සියළු ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරියේ අනපනත් හා නියෝගයන්ට අනුව අනුමත කර ගත යුතුය.

02. ගොඩනැගිලි සැලසුම් පතක් පළාත් පාලන ආයතනයේ අනුමත කර ගන්නේ කෙසේද?

2017.02.01 දින සිට පළාත් පාලන ආයතන මගින් අනුමත කර ගත හැක්කේ පහත සඳහන් ප්‍රමාණයන්ගෙන් යුතු ගොඩනැගිලි පමණි.

2.1 මහල් 4(බිම්මහල+3) ට අඩු සහ වර්ග ප්‍රමාණය වර්ග අඩි4000ට අඩු ගොඩනැගිලි පමණි. (නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නිකුත් කර ඇති ලිපිය භාගත කිරීම් හි දක්වා ඇත.- චක්‍ර ලේඛ අංක 01.)

2.2 පළාත් පාලන ආයතන මඟින් ලබා ගන්නා ලද ගොඩනැගිලි අයදුම් පත්‍රය නිවරදිව පුරවා ඒ සමග පහත සඳහන් ලේඛන හා සැලසුම් පත් සමග භාර දිය යුතුය.

  1. නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග වලට අනුව සකසන ලද ගොඩනැගිලි සැලසුම් පත්පිටපත් 03ක්
  2. ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ඉඩමට අදාල පලාත් පාලන ආයතනයේ අනුමත කරන ලද පිඹුරු පතේ පිටපතක්
  3. ඉඩමේ ඔප්පුවේ පිටපතක්

ඉහත ලේඛන අඩුපාඩුවකින් තොරව සැපයීමෙන් අදාල ගොඩනැගිලි සැලසුම් පත අනුමත කර ගත හැක.

03. පිඹුරු පතක් පළාත් පාලන ආයතනයකින් අනුමත කරගනු ලබන්නේ කෙසේද?

2017.02.01 දින සිට පළාත් පාලන ආයතන මඟින් අනුමත කර ගත හැක්කේ පර්චස් 40ට අඩු භූමි ප්‍රමාණයන්ගෙන් යුතු ඉඩම් කැබලි පමණි. (නාගරික සංවර්ධන අධිකාරිය විසින් මීට අදාලව නිකුත් කර ඇති ලිපිය භාගත කිරීම තුල දක්වා ඇත.-චක්‍ර ලේඛ අංක 01)

3.1 බලය ලත් මිනින්දෝරු වරයකු විසින් ඉඩමට අදාලව අඳින ලද පිඹුරු පතේ මුල් පිටපත හා ඡායා පිටපත් 02ක්.

3.2 පිඹුරුපත පිළියෙල කිරීමට යොදාගත් පිඹුරුපතේ පිටපතක්.

3.3 ඉඩමේ අයිතිය තහවුරු කිරීමට ඔප්පුවේ පිටපතක් සමග නිවරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

04. පරිසර ආරක්ෂණ බලපත්‍රය යනු කුමක්ද?

පරිසර ආරක්ෂණ බලපත්‍රය යනු ශ්‍රී ලංකාවේ කර්මාන්ත මගින් නිකුත් කරනු ලබන විමෝචන එනම් අපජලය,වායුමයවිමෝචන,ශබ්දය,කම්පනය, හා ඝණ අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ජාතික පාරසරික පනත යටතේ ක්‍රියාත්මක කරනු ලබන නෛතික මෙවලමකි.

05. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුත්තේ කුමන කටයුත්තක් සඳහාද?

ජාතික පාරසරික පනතේ ප්‍රතිපාදන අනුව සකස් කරන ලද පාරසරික රෙගුලාසි මගින් නියමිත කටයුතු ලෙස දක්වා ඇති සෑම ක්‍රියාවලියක් සඳහාම පාරසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගැනීම නීත්‍යානුකූල අවශ්‍යතාවයකි.

06. පාරසරික ආරක්ෂණ බලපත්‍රයේ අරමුණු හා පරමාර්ථ කවරේද?

කර්මාන්ත මගින් නිකුත් කරන විමෝචන පරිසරයට හානිකර නොවන මට්ටමක පවත්වාගෙන යමින් පාරසරික හිතකාමි ආකාරයට කර්මාන්ත පවත්වාගෙන යාම පිණිස කර්මාන්තකරුවන් යොමු කරවීම හා එමගින් තිරසාර සංවර්ධනයක් කරා රට මෙහෙයවීම.

07. නියමිත ක්‍රියාකාරකම් යනු මොනවාද?

2008.01.25 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1533/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් උපලේඛනයේ (අ),(ආ) හා (ඇ) ලැයිස්තුවලට අයත් කර්මාන්ත/ක්‍රියාකාරකම් 138 නියමිත ක්‍රියාකාරකම් ලෙස හඳුන්වනු ලබයි. (භාගත කිරිම්හි වෙනත් යටතේ ගැසට්- 01)

08. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගන්නේ කුමන ආයතනයකින්ද?

අංක 1533/16 දරණ ගැසට් නිවේදනයේ (අ) හා (ආ) ලැයිස්තුවලට අදාළ නියමිත කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාල මගින් පාරිසරික ආරක්ෂක බලපත්‍ර ලබාගත යුතු අතර, (ඇ) ලයිස්තුවේ අඩංගු ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂක බලපත්‍ර ලබාගත යුත්තේ ඒ සඳහා බලය පවරා ඇති පළාත් පාලන ආයතන මගිනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17වන වගන්තිය යටතේ ලියාපදිංචි කර්මාන්ත සඳහා කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණ , අංක 1768හි පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතුය.

09. පාරිසරික ආරක්ෂක බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

මේ සඳහා අයදුම්පත් මුදල් අයකිරීමකින් තොරව මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබනු අතර, මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය www.cea.lk මගින්දලබාගතහැක.

මීට අමතරව එක් එක් ප්‍රදේශයට අදාළ පළාත් පාලන ආයතන වෙතින් ද අයදුම් පත් ලබාගත හැකි වේ.

නියමිත ක්‍රියාකාරකම සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත බලපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය වෙත යොමු කළ යුතු වේ.

10. අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු අනෙක් ලියවිලි මොනවාද?

  • ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය. (ලියාපදිංචි කර තිබේ නම්)
  • ඉඩමේ මිනින්දෝරු සැලැස්ම.
  • අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාගන්නා ලද වෙළඳ බලපත්‍රය./ඒ සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය/අනුමත කළ ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්/අනුතූලතා සහතිකය/ව්‍යාපාර සම්බන්ධව ප්‍රාදේශීය සභාවේ විරෝධතා නොමැති බවට දැක්වෙන ලිපියක්.
  • රජයේ ඉඩමක් නම් ඉඩම නිදහස් කිරීම පිළිබඳ ලේඛන.
  • කර්මාන්තය පිහිටි ස්ථානයට ළඟා වීම සඳහා ආසන්න ප්‍රධාන නගරයේ සිට මාර්ග සිතියම.

11. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අවශ්‍යතා මොනවාද?

ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් දක්වා ඇති අපද්‍රව්‍ය විමෝචන කිරීම සඳහා නියමිත ප්‍රමිති හා උපමානවලට අනුකූල වීම පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වේ.

12. අයදුම්පතක් ප්‍රතික්ෂේප කරන අවස්ථා කවරේද?

සාවද්‍ය තොරතුරු ඇතුළත් කරන ලද අයදුම්පත්, විධිමත්ව සම්පූර්ණ නොකරන ලද අයදුම්පත් හා අවශ්‍ය ලේඛන ඉදිරිපත් නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. නැවත නිවැරදි කර සකස් කරනු ලැබූ අයදුම්පත් නැවත භාරගෙන ඉදිරි කටයුතු කරනු ලැබේ.

13. ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු මොනවාද?

සම්පූර්ණ අයදුහ්පත භාර ගැනීමෙන් අනතුරුව අදාළ පළාත් කාර්යාල මගින් පහත සඳහන් අවමයකට හා උපරිමයකට යටත්ව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අය කරනු ලැබේ. (පළාත් පාලන ආයතනවලට විමධ්‍යගත කරනු ලැබූ කටයුතු සඳහා අදාළ ආයතනය මගින් අයකිරීම සිදු කරනු ලැබේ.

  • අවමය රු. 3000/- කි.
  • උපරිමය රු. 10000/- කි.
  • අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව විශේෂිත වූ ක්‍රියාවලි සඳහා අයකරනු ලබන පරික්ෂණ ගාස්තුව සංශෝධනය විය විය හැක.

14. ක්ෂේත්‍ර පරික්ෂණය සිදු කරනු ලබන්නේ කවුරුන් ද?

අදාළ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකරනු ලබන අතර, ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව ගෙවිමෙන් පසුව දින 14ක් ඇතුළත අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කරනු ලැබේ.

ඇතැම් විට අවස්ථාවල දී මෙම කාල සිමාව වෙනස් වීමට ඉඩ ඇත.

ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා කර්මාන්ත භුමියට ප්‍රවේශ වීමේ අයිතිය නිලධාරීන් සතුවන අතර ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳව විමසීමේ අයිතිය කර්මාන්ත පාර්ශ්චයට ඇත.

15. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව තීරණය ගනු ලබන්නේ කවුරුන් ද?

ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ සලකා බැලිමෙන් අනතුරුව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරනු ලබන බලය ලත් නිලධාරියා විසින් ඒ පිළිබඳව තීරණය කරනු ලබයි.

16. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරිම තිරණය කෙරෙන කරුණු මොනවාද?

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරනු ලබන අවස්ථාව වන විට ක්‍රියාකාරකම මගින් විමෝචනය කෙරෙන දූෂකාරක, ප්‍රකාශිත ප්‍රමිති හා උපමානවලට අනුකූලව නිකුත් කරන්නේ නම් පමණක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

17. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ කුමන අවස්ථාවකදී ද?

යම් නියමිත ක්‍රියාකාරකමක් හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප්‍රකාශිත ප්‍රමිති හා උපමානවලට අනුකූලව අපද්‍රව්‍ය විමෝචනය/බැහැරලීම සිදු නොකරන්නේ නම්, ඒ සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ බව ව්‍යවසායකයා වෙත බලධාරියා විසින් ලිඛිතව දන්වනු ලැබේ.

18. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව හා වලංගු වන කාල සිමාව කුමක්ද?

අනු අංකයක්‍රියාකාරකමබල පත්‍ර ගාස්තුවලංගු කාලසීමාව
1“අ ” කොටසරු.7500.00 සහ රජයේ අනුමත බදුඅවුරුදු 01
2“ආ ” කොටසරු.6000.00 සහ රජයේ අනුමත බදුඅවුරුදු 03
3“ඇ ” කොටසරු.4000.00 සහ රජයේ අනුමත බදුඅවුරුදු 03

මේ පිළිබඳව තවදුරටත් තොරතුරු 2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් නිවේදනය මගින් ලබාගත හැක.(භාගත කිරිම්හි වෙනත් යටතේ ගැසට්- 02)

19. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුත්තේ කවර අවස්ථාවේදී ද?

ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරිම සුදුසු බව බලධාරියා විසින් තීරණය කළ පසුව ඒ පිළිබඳව කොන්දේසි සකස් කර නීසි අනුමැතිය සඳහා යොමු කරනු ලබයි.

බලපත්‍රය නිකුත් කරනු ලබන බලධාරියාගේ අනුමැතිය ලැබුණු පසු පමණක් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස ව්‍යවසායකයාට දන්වනු ලබන අතර, ඉන් පසු අදාළ ආයතනය වෙත ගාස්තුව ගෙවිය යුතුය.

20. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම සඳහා අයදුම් කළ යුතු අවස්ථා මොනවාද?

  • වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක කාලය අවසන් වීමට මාස තුනකට (03) පෙර එය අලුත් කිරීම සඳහා අයදුම් කළ යුතුය.
  • කර්මාන්තයේ යම් වෙනස් කිරීමක් හෝ අලුත් කිරීමක් සිදුකරන් ලබන්නේ නම් ඊට මාසයකට පෙර පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරිම සඳහා අයදුම් කළ යුතු වේ.

ඒ සඳහා වෙනම අයදුම්පතක් සකස්කර ඇති අතර, ඒවා  පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පතක් ලබා ගන්නා ක්‍රමයටම ලබා ගත හැක.

21. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරිමේදී ක්ෂේත්‍ර පරීක්ෂ ගාස්තු ගෙවිය යුතු ද?

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම සඳහා සිදු කරනු ලබන ක්ෂේත්‍ර පරීක්ෂණයට පරික්ෂණ ගාස්තු අයකිරීමක් නොකෙරේ.

එහෙත් කර්මාන්තකරුගේ ප්‍රමාදයක් නිසා නියමිත දිනට අයදුම්පතක් ඉදිරිපත් නොකරන අවස්ථාවලදි,  නව අයදුම්පත්‍රයක් මගින් නැවත අයදුම් කළ යුතු අතර, එවිට ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව අය කරනු ලැබේ.

22. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරිමට හේතු මොනවාද?

  • බලපත්‍රයේ අඩංගු යම් නියමිත කොන්දේසි හෝ ප්‍රමිති උල්ලංඝණය කළ අවස්ථාවකදී.
  • ස්භාවික හෝ වෙනත් හේතුවක් මත, බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු අපද්‍රව්‍ය ලබන පරිසරය වෙනස් වී ඇති අවස්ථාවක දී.
  • බලපත්‍රයක අධිකාරිය යටතේ නොකඩවා අපද්‍රව්‍ය බැහැර කිරීම, තැන්පත් කිරීම, මෝචනය කිරීම වැඩදායී ලෙස පරිසරය උපයෝගී කර ගැනීමකට පටහැනි ලෙස බලපාන හෝ බලපෑ හැකි අවස්ථාවකදී.
  • බාහිර පරිසරයේ තැන්පත් කරන, බාහිර පරිසරයට මුදා හරින හෝ වායු ගෝලයට නිකුත් කරන අපද්‍රව්‍ය භාහිර පරිසරයේ ප්‍රියාකාරිත්වයට පීඩාකාරී ලෙස බලපැවැත් වූ විට.

බලපත්‍රය අත්හිටුවීමේ සහ අවලංගු කිරීමේ නිවේදනය නිකුත් කිරිමට පෙර ජාතික පාරිසරික පනතේ 23 “අ” වගන්තිය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය බලපත්‍ර ලාභියාට එසේ අවලංගු නොකිරිමට හේතු දැක්විය හැකි නම් එසේ කිරිමට ඉඩ දෙනු ලැබේ.

23. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවීමේ සහ අවලංගු කිරීමේ වෙනස කුමක්ද?

කර්මාන්ත ක්‍රියාවලියක් මගින් පිටකරන විමෝචන, නිර්දේශිත ප්‍රමිති හා උපමානවලට අනුකූල නොවන නමුත් එම තත්ත්වය යථාවත් කළ හාකි මට්ටමේ පවතී නම් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවීමක් සිදු කළ හැකි අතර, නැවත එය යථාවත් කර බලපත්‍ර ලාභියා විසින් තහවුරු කළ පසු නැවත පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වලංගු කළ හැක.

කර්මාන්තය මගින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි දැඩි ලෙස උල්ලංඝණය කරමින් පවති නම් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරිම සිදු කළ හැකි අතර, අවලංගු කරන ලද බලපත්‍රයක් නැවත වලංගු නොකරන අතර, බලපත්‍රයක් ලබා ගැනීමේදී නව බලපත්‍ර අයදුම්පත්‍රයකින් නැවත අයදුම් කළ යුතුය.

24. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියේ නීතිමය ප්‍රතිපාදන කවරේද?.

නියමිත කටයුත්තක් වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යාම හෝ බලපත්‍රයේ කොන්දේසිවලට පටහැනිව පවත්වාගෙන යාම ජාතික පාරිසරික පනත යටතේ වරදක් වන්නේය.

නීතියෙන් වරදකරුවකු වන පුද්ගලයෙකු රු.15,000/- කට නොඅඩු දඩයකට හෝ අවුරුද්දකට නොඅඩු සිරදඬුවමකට හෝ මේ දෙකටම යටත් කිරිම සිදු කළ හැක.

මෙසේ බලපත්‍ර රහිතව ජාතික පාරිසරික පනතේ විධිවිධාන කඩකරමින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තයක් වසා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හෝ එහි නියෝජිතයෙකුට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැක.

25. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුගේ වගකිම කුමක්ද?

  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලත් ක්‍රියාවලියේ කිසියම් වෙනස් කිරිමක් හෝ පුළුල් කිරිමක් සිදුකරනු ලබන විටකදී බලපත්‍ර නිකුත් කරන ආයතනය වෙත ඒ පිළිබඳව නිරතුරුවම දැනුම් දිම කළ යුතුය.
  • ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව එහි සඳහන් ප්‍රමිති හා උපමානවලට අනුකූලව පමනක් අපද්‍රව්‍ය මුදාහැරීම සිදුකළ යුතුයත
  • නියමිත කාලවකවානු තුළදී බලපත්‍රය අලුත් කිරිම සඳහා අයදුම් කළ යුතුය.
  • බලපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය විසින් පරිසර දූෂණ පාලනය සඳහා දෙනු ලබන උපදෙස් හා කොන්දේසි පිළිපැදිය යුතුය.
  • පරිසර දූෂණ පාලන තත්ත්වයන් පිළිබඳව වාරිතා විධිමත්ව බලපත්‍ර නිකුත් කරන ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.
  • බලපත්‍ර නිකුත් කරන ආයතනයේ නියෝජිතයින් හට කර්මාන්තයට ප්‍රවේශ වීම සඳහා ඕනෑම අවස්ථාවක අවසර ලබා දිය යුතුය.

26. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට අත්වන වාසි මොනවාද?

  • කර්මාන්තය මගින් සිදුවන පරිසර දූෂණය අවම මට්ටමක පවත්වා ගැනිම මගින් පරිසරය ආරක්ෂා කිරිමට දායක විම.
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට බාධාවකින් තොරව කර්මාන්තය සඳහා අවශ්‍ය බැංකු ණය ලබා ගැනිමේ පහසුව.
  • කර්මාන්ත ක්‍රියාවලිය සම්බන්ධව පැමිණිලි අවම විම මගින් කර්මාන්ත කටයුතු පවත්වාගෙන යාම පහසු විම.
  • නීතිමය ආවරණයක් සැලසීම.